07 January 2018

පළාත් පාලන මැතිවරණය සහ විල්පත්තුව


විල්පත්තුව කොහෙද අක්කරේපත්තුව කොහෙද, විල්ලත්තුව කොහෙද කෝරලේපත්තුව කොහෙද, විල්ලත්තුව කොහෙද  හාරිස්පත්තුව කොහෙද? අක්කරෙපත්තුවේ නැත්නම් කොරලේපත්තුවේ නැත්නම් හාරිස්පත්තුවේ ඡන්දදායකයින් ට අදාල වෙන්නේ ඒ ඒ පත්තුවල පත්තු වුන ප්‍රශ්න මිස විල්පත්තුවේ ඇවිලෙන ගින්දර වෙන්නේ කොහොමද කියල කාටහරි අහන්න පුළුවන්.  ගමේ ඡන්දෙට අදාළ වෙන්නේ ගම මිස් පිටගං නෙවෙයි නේ කියල උත්තර දෙන්නත් පුළුවන්.

ඒ වුනාට පළාත් පාලන මැතිවරණයක් කියන්නේ ගම ගැන කාරණයක් ම නෙවෙයි.  දේශපාලන පක්ෂ පිලිබඳ කාරණයක්.  මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන සුවිශේෂී තත්ත්වයන් හේතුවෙන්, ඒ කියන්නේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන කරුණු කාරණා හේතුවෙන්, 'ජාතික' හැඩයක් ලැබිල තියෙනවා.  ඒ කියන්නේ මේක 'ජාතික මැතිවරණයක්' (ජනාධිපතිවරණය, මහා මැතිවරණය වගේ).  

ඉතින් මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි 'ගම අපට දෙන්න' කියල කියන්නේ විහිළුවක්.  එහෙම ඉල්ලන අය කරන්නේ රටේ සමස්ත දේශපාලනයේ තම තමන්ගේ පා සටහන් වල ප්‍රමාණය ප්‍රසාරණය කරන්න උත්සහා කිරීමක්.  'ජාතික තලයේ' කේවල් කිරීමේ හැකියාව වැඩි කරන්න හදන එක මිසක් ගම හදන උවමනාවක් වත් හැකියාවක් වත් එයාලට නෑ.  ගම ඉල්ලන්නේ ගම කන්න යි.  ගම ඉල්ලන්නේ ගේමක් දෙන්නයි.

කැමති වුනත් අකමැති වුනත් කාරණය 'ජාතික' වන්නේ නම් ගනුදෙනුවද 'ජාතික' කරගැනීම වැදගත්.  ඒ කියන්නේ ඒ ඒ පක්ෂය 'ජාතික' ලෙස හඳුනා ගන්න විදිහ නෙවෙයි; 'ජාතික' කියන එක ඡන්දදායකයා අර්ථ දැක්විය යුතුයි.

ඒ අනුව 'ජාතික ප්‍රශ්නය' විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්.  මේ ඉන් එකක් පමණයි.

'විල්පත්තුව'.  එනම් මේ 'ජාතික' වූ 'පුංචි ඡන්දය' විල්පත්තුව සහ ඊට අදාළ පාරිසරික, ආර්ථික සහ දේශපාලනික කාරණා වලට හිතා මතා ම ලඝු කර මු.  

මුලින් කිව යුතු යමක් තියෙනවා.  විල්පත්තු සංහාරයට එරෙහි වන අය‍ට එරෙහි වන්නෝ මේක 'බොදු බල සෙනා වේ මුස්ලිම් විරෝධය ක්' ලෙස අර්ථකථනය කරන්න උත්සහා කරනවා.  බොදු බල සේනාව මෙතෙන්ට මැදිහත් වූ බව ඇත්ත.  ඊට හේතුව එම සංවිධානයේ මුස්ලිම් විරෝධය හෝ ආගමික අන්තවාදය වෙන්නත් පුළුවන්.  ගස් කැපුවේ මුස්ලිම් ජාතිකයින් පදිංචි කිරීම සඳහා නම් මෙතන වාර්ගික සාධකයක් නැතැයි කියන්නත් බැහැ.  ඒ කෙසේ වෙතත් මූලික ප්‍රශ්ණය කැලෑව කැපීමයි.  එයට හවුල් වූ සියළු දෙනා කරලා තියෙන්නේ ජාතික අපරාධයක්.  ඒ කියන්නේ මේ වැඩේට මූලික වූ දේශපාලන බලවතුන් සහ පක්ෂ, ඒ සඳහා නීති විරෝධී ලෙස අවසර දුන් නිලධාරීන්, අහක බලාගෙන සිටි අය, මුල් පදිංචිකාරයෝ කියන බොරුව කියපු අය සහ ඒ බොරුව පතුරවපු අය, සංහිදියාව දඩමීමා කරගෙන විනාශයට උඩ ගෙඩි දුන් අය, මුස්ලිම්-විරෝධය නිසාම මෙයට විරුද්ධ වී ඒ අනුව කාරණයට 'ආගම්වාදී' හැඩයක් දුන් අය, 'ආගම්වාදය එනෝ' කියමින් සංහාරය යටගහන්න උත්සහාකරන අය.

ගහකට වනයකට ජාතියක් ආගමක් නැහැ.  එනම් ඒවා හැම ජාතියකටම අයිතියි, හැම ආගමික සමූහයන්ට අයිතියි.  සිංහල කැලෑ නැහැ.  මුස්ලිම් කැලෑ නැහැ. බෞද්ධ කැලෑ නැහැ. ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාමීය කැලෑ නැහැ.  කැලෑවක ජාතිය කැලෑවමයි. කැලෑවක ආගම ත් කැලෑවමයි.

ජාතික ප්‍රශ්ණය විල්පත්තුව යි.  මෙහිදී විල්පත්තුව කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව සිට මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව දක්වා ඇති, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් තුනටම අයත් පරිසර පද්ධති සංකීර්ණය යි.  රම්සා තෙත්බිමක් ලෙස ජාත්‍යාන්තර ව පිළිගන්නා මෙම සංකීර්ණය ට අදාළ ප්‍රදේශයේ සියලු ජාතික වනෝද්‍යාන, සංරක්ෂිත කැලෑ සහ වනසංරක්ෂණ බිම් ඇතුලත් වේ.  

එහෙත් මෙහිදී 'විල්පත්තුව' මීට වඩා පුළුල් විදිහකට නිර්වචනය කරන්න අවශ්‍යයි.   විල්පත්තුව යනු කැපීමට නියමිත සියළු කැලෑ වේ.  ගස් වැද්දන්ගේ සහ ඊනියා සංවර්ධනයේ තර්ජනයට ලක්ව ඇති සියළු කැලෑ 'විල්පත්තු' ලෙස සැලකිය යුතුයි.  විල්පත්තු කියන්නේ අප සියළු දෙනා ආශ්වාස කරන ඔක්සිජන්, එනම් අපගේ ජීවිත හුස්ම පොදටත් 'විල්පත්තු' කියල කියන්න පුළුවන්.  විල්පත්තු කියන්නේ රට ට.  එය 'ජාතික' වේ.  රට ද වේ. ගම ද වේ.  අදටත් හෙටටත්, පුරවැසියන් ටත් පුරවැසියන් වීම ට නියමිත සියලුදෙනාටත් අදාළ වන 'ජාතික ප්‍රශ්නය' විල්පත්තු වේ. 

එහෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම විල්පත්තුව ගැන නිහඬ යි.  ඡන්ද කුට්ටි දේශපාලනයට අවනත වන නිසා වෙන්න පුළුවන්.  නැත්නම් මෙතන 'වාර්ගිකත්වය' සලකුණු වෙලා තියෙන නිසා 'සන්හින්දියාව' අවුල් වෙයි කියන බය වෙන්න පුළුවන්.  කොහොම වුනත් මුළු රටටම බලපාන සහ එමනිසාම සියලු ජනවර්ග වලට බලපාන ප්‍රශ්නයක් ගැන නිහඬ වීම කියන්නේ සන්හින්දියාවට කෙළවෙන්න දෙන එකම බව තීන්දු කරන්න වෙනවා.  

විල්පත්තුව ගැන කතා නොකරන දේශපාලන පක්ෂ සන්හින්දියාවට, සාමයට, ජනතාවට එරෙහිව කටයුතු කරන බව තීන්දු කල යුතු යි.  මන්ද විපත්තු කියන්නේ 'ජාතික ප්‍රශ්නයට' කියන අලුත් නම.  

මන්ද විල්පත්තු කියන්නේ ශ්‍රී ලංකාව මයි. මන්ද විල්පත්තුවේ සිදුවන වන සංහාරය සිද්ද වෙන්න දීල අහක බලාගෙන ඉන්නව නම් රටක් ගැන, ගමක් ගැන, හෙටක් ගැන කතා කරන්න සදාචාර අයිතියක් තියෙන්න විදිහක් නැහැ.  ඒ විතරක් නෙවෙයි කතා කරන්න තරම් රටක්, ගමක්, ජාතියක් හෝ හෙටක් පවා ඉතුරු වෙන්නේ නැහැ.  

තම තමන්ගේ ඡන්ද ව්‍යාපාර තුල අරයට මෙයාට බනින එක සාමාන්‍ය දෙයක් දැන්.  අර පක්ෂය අරහෙම කෙරුව, මෙහෙම කෙරුව නැත්තම් අරක කරේ නැහැ මේක කෙරුවේ නැහැ කියල කියන එක ත් සාමාන්‍ය දෙයක්.  හරියට ඔය ටෝක් ඉශු කරන අය/පක්ෂ කරලා තියෙන්නේ පුදුමාකාර දේවල් වගේ, නැත්තම් නරක දේවල් කරලම නැහැ වගේ.  එහෙම පක්ෂ නැහැ.  ඒ නිසා සීලවන්තයෝ කියල කියා ගෙන එන අය තනිකරම කරන්නේ බොරුව.  

ඒ කෙසේ වෙතත් ඒ හැමෝටම අවස්ථාවක් උදා වෙලා තියෙනවා ටිකක් සීරියස් වෙන්න.  පව් සමාකර ගන්න.  ජනතා විශ්වාසය දිනාගන්න.  


විල්පත්තුව ගැන පැහැදිලි, නිරවුල්, වංගු නැති, බොරු විදග්දකම් නැති ස්ථාවරයක් ඉදිරිපත් කරන්න. එච්චරයි.

0 comments: