14 February 2018

මැතිවරණ ප්‍රතිඵල කියවීමේ මංගල සුත්‍රය සහ එහි දෝෂ

මාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියන විදිහට පැරදිලා තියෙන්නේ මහින්ද.  තර්කය පදනම් වෙන්නේ පහත කරුණු මත. 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 58කට ආසන්න ප්‍රමාණයක් මහින්දට වැටුනට පොහොට්ටුව ට පුංචි ඡන්දේ දී වැටුනේ ඡන්ද ලක්ෂ 49.5 ක් පමණයි. මංගල කියන විදිහට ලක්ෂ 61ක් (55.3%ක්) ඡන්ද පොළ ට ගියේ මහින්දට විරුද්ධ ව ඡන්දේ දෙන්නයි.

මංගලගේ මේ අපූරු ගණිත ක්‍රමය එජාපයටත් මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලංනිපයට ත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කල ආසනත් මෙතැනදී 'ශ්‍රීලංනිපය' ලෙස හඳුන්වමි) ආදේශ කරමු. එහම ගන්නකොට 2015 අගෝස්තුවේ  ලක්ෂ 51 වූ එජාප ඡන්ද පදනම ලක්ෂ 36 දක්වා අඩුවෙලා. මෛත්‍රිපාල ගේ ඡන්ද පදනම ලක්ෂ 62 සිට ලක්ෂ 15 දක්වා අඩුවෙලා. ලක්ෂ 74ක් එජාපයට විරුද්ධවත්, ලක්ෂ 95ක් ශ්‍රීලංනිපයට විරුද්ධවත් ඡන්දය පාවිච්චි කරලයි තියෙන්නේ.  ඒ කියන්නේ 77.37%ක් එජාපය ප්‍රතික්ෂේප කරලා තියෙනවා, 86.62%ක් මෛත්‍රිපාලවත් ශ්‍රීලංනිපයත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.  උණ ගැනෙන සංඛ්‍යා මේවා!  

2015 මහා මැතිවරණයේ දිනු දිස්ත්‍රික්ක වලින් එජාපය කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, පොලොන්නරුව සහ කෑගල්ල පැරදිලයි තියෙන්නේ.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම 59.1% සිට 37.3% දක්වා අඩු වෙලා. බදුල්ලේ  එජාප ඡන්ද පදනම 54.8% සිට 32% දක්වා අඩුවෙලා. පැරදුන දිස්ත්‍රික්ක වල 25%ක් වගේ ප්‍රමාණයක් තමයි ලැබිල තියෙන්නේ. එජාපය දිනලා තියෙන්නේ දිගාමඩුල්ල යි නුවර එළියයි විතරයි.  දිගාමඩුල්ලේ ලැබිල තියෙන්නේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 26%ක් විතරයි.  ජාතික මට්ටමේ ඔය තරම් වත් ප්‍රතිශතයක් වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සම්ප්‍රදායික බල කඳවුරු සුපුරුදු පරිදි විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තියෙන නිසා.    

වෙන වෙනම තරඟ කරපු ජවිපෙත් ශ්‍රීලංනිපයත් එජාප  ගොඩ ට ගන්න පුළුවන් නම්, ශ්‍රීලංනිප ඡන්ද පොහොට්ටුවට එකතු කරන්නත් පුළුවන්.  මන්ද, පුංචි ඡන්දය ශ්‍රීලංනිපයේ අයිතිය පිලිබඳ විමසීමක් හැටියටත් දකින්න පුළුවන් නිසා.  එහෙම බලනකොට පොහොට්ටුව උඩින්ම දිනුම්.  බොහෝ විට ඉදිරි මැතිවරණ වලදී මෙය නිශ්චිත ව දැනගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ පොහොට්ටුවේ ඡන්ද පදනමේ ප්‍රසාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

2018 කියන්නේ 2015 නෙවෙයි. ශ්‍රීලංනිපය හේදිලා යන තත්ත්වයක් තුල මීළඟ මැතිවරණ වල දී පොහොට්ටුව ට මීටත් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙයි කියල අනුමාන කරන්න පුළුවන්.

ඒත් මංගල ට වගේම එජාපයේ ප්‍රබලයින්ට මේ ගණිතය තේරෙන්නේ නැහැ. එජාපය පැරදුනා කියල පිළිගන්න සමහර එජාප නායකයින් සහ පාක්ෂිකයින් කියන්නේ හොරු අල්ලපු නැති නිසා පැරදුනා කියල යි.  'හොරු' කියල අදහස් කරන්නේ රාජපක්ෂවරු.  එතකොට රාජපක්ෂලා හිරේ නොදැමීම ගැන කුපිත වුනු ඡන්දදායකයා කරලා තියෙන්නේ රාජපක්ෂවරු හා අනන්‍ය වුන පොහොට්ටුවට ඡන්දේ දීම.  මේ විදිහේ විහිළු සහගත විශ්ලේෂණ කරනවා නම් ඊළඟ මැතිවරණයේ මීටත් වඩා සොරි වෙනවා අනිවාර්යයෙන්ම.

හොරු අල්ලපු නැති එකලු පරාජයට හේතුව.  එතකොට එක්ටා ගිවිසුම? පෝට් සිටී එක? හම්බන්තොට වරාය? කරනවා කියල නොකරපු දේවල්? නොකරනවා කියල කරපු දේවල්? ඥාති සංග්‍රහය? රාජ්‍ය දේපල අවභාවිතා කිරීම? තක්කඩිකම්? හොරකම්? ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට රිංගවීම? එතකොට මහා බැංකුව කොල්ල කෑවේ නැද්ද?  මේවා කිසි දෙයක් ඡන්දදායකයින්ට අදාළ වුනේ නැද්ද?

මංගල පිළිගන්න අකමැති ඇත්ත මේකයි. මහින්ද රාජපක්ෂව පරාජය කරන්න එකතු වුනු බලවේග අද සීසීකඩ.  පුරවැසි බලය, අලුත් පරපුර වගේ සංවිධාන වෙච්ච දේ තේරුම් ගන්න බැරුව මාධ්‍ය සාකච්ඡා වලවිකාර දොඩවනවා. 2015 ජනවාරි මැතිවරණයට එකතුවුන බලවේග අද වෙන වෙනම යි ගමන් කරන්නේ. එදා වගේ අදත් අත්වැල් බැඳගෙන ඉන්නවා කියල හිතන එකත් එහෙම විශ්වාස කරගෙන මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන එකත් විහිළුසහගතයි.   

ඡන්ද ප්‍රතිඵල දිස්ත්‍රික්ක වශයෙන් බැලුවහම හිතාගන්න පුළුවන් පැවැත්වුයේ මහා මැතිවරණයක් නම් සිදුවන දේ.  පොහොට්ටුවට ලැබෙන ඡන්ද ගණන අනුව, බෝනස් ආසනත් සමග අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු බහුතරයක් ලැබෙනවා.  අලුත් ක්‍රමයට පැවැත්වුවා නම් ආසන බර ප්‍රමාණයකින් පොහොට්ටුව දිනනවා.  

ඉතින් මංගලගේ සරල ගණිතය සරල විතරක් නෙවෙයි සාවද්‍යයි.  පාර්ලිමේන්තුවේ සංයුතිය පොදුවේ රටේ ජනතා කැමැත්තට ගැලපෙන්නේ නැහැ. පටහැනියි.  19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තිවල පිහිටෙන් ජනතා තීන්දුව ට එරෙහි වෙනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම වලට පටහැනි වෙනවා.  කල යුත්තේ 19 වැනි සංශෝධනයට විශේෂ වගන්තියක් එකතු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින එක යි.  

කෙටියෙන්, යහපාලන ආණ්ඩුවට මේ වනවිට ජන වරමක් නැහැ රට පාලනය කරන්න.  තව දුරටත් ආණ්ඩු බලය තියාගෙන ඉන්න සදාචාර අයිතියකුත් නැහැ.  
ඒ වුනාට දෙකේ පන්තියේ ළමයෙක් තරම් වත් ගණන් බැරි අයට ඔය සදාචාර ප්‍රශ්න නෑ.  මුලින්ම ගණන වැරදුනා කියල පිළිගන්න අවශ්‍යයි.  

වැඩේ මේකයි.  රටේ බහුතරයකට ගණන් පුළුවන්.  එජාපයටත්, මංගලටත්, රනිල්ටත් වැරදුණේත්, ඉදිරියටත් වරදින්නේ ත් ඒ නිසයි.  මෛත්‍රී ගැනත් ඔච්චරයි කියන්න තියෙන්නේ.  2014 දී මහින්ද ට වැරදුනේ ත් ඔය විදිහටමයි. ඒ වුනාට මනුස්සයා නම් කාට හරි කියල ගණන් ටිකක් ඉගෙන ගෙන වගේ.  

මෙතන රට පාලනය කල යුත්තේ මහින්ද ද නැත්තම් මහින්ද හොඳට රට පාලනය කරයි ද නැද්ද වගේ ප්‍රශ්න අදාළ නැහැ.  
කොහොම වුනත් මේ ආණ්ඩුව අවුට්. අවුට් ඔෆ් ඕඩර්.  එජාප-ශ්‍රීලංනිප සන්ධානය ෆේල්.   

0 comments: